RSS

Networking

06 Sep

 

අපේ ජාල – 2 (80-20 සිට 20-80 දක්වා….)

80-20 සිට 20-80 දක්වා….
අපේ ජාල පළමුවන ලිපියට ලැබුණු ප්‍රතිචාර අනුව තවත් ලිපියක් ලිවීමට පෙළඹවීමක් මා සිත තුල ඇති විය. බටහිර ජාලකරණ ප්‍රවාදයන්හි ඇති මධගත ආකෘතික බව අප කෙතරම් පැහැදිලි කළද ඒ සඳහා උදාහරණ පෙන්වා දෙන මෙන් ඇතැම් ජාල ඉංජිනේරුවෝ අභියෝග කරති. අප එම අභියෝගය භාර ගැනීමක් ලෙස මෙම ලිපියෙහි දී උදාහරණ දෙකක් සහිතව එම කරුණ පැහැදිලි කරනු ලැබේ. මෙහිදී බටහිර ප්‍රවාද(Theory) ගැන සාකච්ඡා කරන බැවින් ඇතැම් ඉංග්‍රීසි වචනයන් වරහන් තුල දක්වා ඇත. ඊට හේතුව නම් තවමත් පාරිභාෂික වචන මෙම විෂය සඳහා බිහි වී නොතිබීමයි.  එමෙන්ම  බටහිර භාවිතයන් පැහැදිලි කිරීම සඳහා මෙහිදී ඇතැම් තාක්ෂණික චවන භාවිතා කිරීමට සිදුවීම අපට නොවැලැක්විය හැකිය. ඒ ගැන අපගේ පාඨකයන්ගෙන් නැවත වතාවක් සමාව ඉල්ලමි. “අපේ ජාල” ඉදිරි ලිපි වලදී  බටහිර ජාලයන් ගැන විවේචනයට වඩා අපේ දැනුමක් ගැන සාකච්ඡා වන බැවින් තාක්ෂණික චවන සහ ඉංග්‍රීසි වචන වරහන් තුලට යෙදීම අවම වන බව අපට කිව හැක.

මෙයට වසර කිහිපයකට පෙර, අපගේම වූ ජාලකරණ ප්‍රවාද නිර්මාණය කරගැනීමේ වැදගත්කම අවබෝධ වීමට නලින් ද සිලවා මහාචාර්ය තුමාගේ විදුසර අපේ ප්‍රවාද ලිපි පෙල පසුබිම් වූ බව මා විසින් මුල් ලිපියේදීද සඳහන් කරන ලදී. තවද ඒ වන විටත් මා පරිගණක ජාල ඉංජිනේරු ක්ෂේත්‍රයේ වසර හතක පමණ පළපුරුදු කම්ද සහිතව ජ්‍යෙෂ්ඨ ජාල ඉංජිනේරුවකු වශයෙන් මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික සමාගමක සේවය කරන ලදී. එම නිසා මා හට එම කාලය වන විටත් අත්දැකීමෙන්ම බටහිර ජාලකරණ ප්‍රවාදවල ඇති මධ්‍යගත ස්වභාවය සමස්තයක් ලෙස වැටහී ගොස් තිබිණ. එමෙන්ම බටහිර ජාල සැලසුම්වලදී සාමාන්‍ය රටාව වන මධ්‍යගත වූ නිර්මාණකරණය පිළිබඳව විවිධ වූ ජාල සැලසුම් ඇසුරින් අපට එකලදී හඳුනාගත හැකි විය. එලෙස අපට බටහිර ජාල නිර්මාණයන්හි සාමාන්‍යය ස්වභාවය මධ්‍යගත බව වැටහා ගැනීමට එකලදී සහය වූ උදාහරණ කිහිපයක්ම ස්ථානීය ක්ෂේත්‍ර ජාල(Local Area Netwoks) ඇසුරින් දැක්විය හැක.

උදාහරණ 1:-
කැම්පස් ජාල නිර්මාණකරණය (Campus Network Design) සහ 20-80 ප්‍රවාදය
එකිනෙක වෙන් වූ ගොඩනැගිලි පිහිටා ඇති භූමියක එම ගොඩනැගිලි අතර සන්නිවේදනය සඳහා භාවිත කරන ජාලයක්, කැම්පස් ජාලයක්(Campus Networks) යනුවෙන් හැඳින්විය හැක.

මෙයට වසර 10කට පමණ පෙර කැම්පස් පරිගණක ජාල(Campus Networks) නිර්මාණයෙදී යොදාගත් සම්මතයක් වූයේ, ජාලයේ දත්ත හුවමාරුවෙන් වැඩි ප්‍රතිශතයක් (80% පමණ) ආදාල ස්ථානීය ජාලය(The Local Network Segment) තුල සිදුවිය යුතු බවයි. ඉතිරි සුඵ ප්‍රතිශතයක් (20% කට අඩු) වන දත්ත හුවමාරු වීම් අදාල ස්ථානීය ජාලයෙන් පිටතට යැවෙන ලෙසද සලකා ජාල නිර්මාණය කිරීමේ සම්මතයක් එකල පැවතින. මෙම සම්මතය පසුකලක 80-20 නීතිය ලෙසද හැඳින්විය. මේ අයුරින් වැඩි දත්ත හුවමාරු ප්‍රතිශතයක් අදාල ස්ථානීය ජාලයේම තබාගැනීම පැහැදිලිවම විමධ්‍යගත ක්‍රමයකි. මෙම 80-20 සැලසුම අනුව, අදාල ස්ථානීය ජාලයට සම්බන්ධව ඇති සේවාලාභී පරිගණක (Workstation Computers) සඳහා අවශ්‍ය වන සේවාදායක පරිගණකයන් (Server Computers), අදාල ස්ථානීය ජාලය තුලම ස්ථාපනය කරනු ලැබේ. එබැවින් එම ස්ථානීය ජාලයේ සේවාලාභී පරිගණක වලට අදාල සේවාදායක පරිගණක පරිගණක සමඟ දත්ත හුවමාරුව සඳහා ස්ථානීය ජාලයෙන් පිටතට සම්බන්ධවීමේ අවශ්‍යතාවයක් පැන නොනගී. මේ නිසා 20% කටත් අඩු ප්‍රමාණයක දත්ත හුවමාරු වීම් ප්‍රතිශතයක් අදාල ස්ථානීය ජාලයෙන් පිටතට යැවෙන අයුරින් විමධ්‍යගත ජාල නිර්මාණය කිරීමේ සම්මතයක් එකල ඇති වී තිබිණ.

නමුත් අද වන විට පරිගණක ජාලයන්හි දත්ත හුවමාරු සම්මතය වනුයේ 80-20 ප්‍රවාදයේම ප්‍රතිවිරුද්ධ ආකාරය වන 20-80 නම් ප්‍රවාදයකි. එනම් 20-80 ප්‍රවාදයට අනුව ජාලයේ දත්ත හුවමාරුවෙන් සුඵ ප්‍රතිශතයක් (20% කට වඩා අඩු ප්‍රතිශතයක්) පමණක් ආදාල ස්ථානීය ජාලය(The Local Network Segment) තුල සිදුවන අතර බහුතර ප්‍රතිශතයක් (80% පමණ) වන දත්ත හුවමාරු වීම් අදාල ස්ථානීය ජාලයෙන් පිටත සමඟ සිදුවන ලෙස සලකා ජාල නිර්මාණය කිරීමේ නව සම්මතයක් ඇති වී තිබේ. මෙම ස්ථානීය ජාලයෙන් පිටතට ගෙනයනු ලබන 80% පමණ වන දත්ත වලින් වැඩි කොටසක් ජාල මධ්‍යයකට (Core Network) ගෙන ගොස් සෙසු ජාල සමඟ දත්ත හුවමාරු වන සේ මෙම නව ජාල සැලසුම් ක්‍රමවේද සකස් වී ඇත. මෙම 20-80 සැලසුම අනුව, අදාල ස්ථානීය ජාලයට සම්බන්ධව ඇති සේවාලාභී පරිගණක (Workstation Computers) සඳහා අවශ්‍ය වන සේවාදායක පරිගණක (Server Computers) අදාල ස්ථානීය ජාලයෙන් බාහිරව ස්ථාපනය කරනු ලැබේ. බොහෝවිට මෙම සේවාදායක පරිගණක (Server Computers) සඳහා වෙනමම ස්ථානීය ජාලයක් (A Network Segment) නව ජාල නිර්මාණවලට ඇතුලත් වී ඇත. සේවාදායක පරිගණක (Server Computers) සඳහාම වෙන් වූ ස්ථානීය ජාලය, සේවාදායක පරිගණක සමූහන ජාලය (Server Farm Network) ලෙස හැඳින් වේ. මෙම සේවාදායක පරිගණක සමූහන ජාලය (Server Farm Network) කෙලින්ම සම්බන්ධ වී ඇත්තේ ජාල මධ්‍යයට (To Core Network) වන අතර සෙසු ස්ථානීය ජාල සමඟ සම්බන්ධ වන්නේද ජාල මධ්‍යය හරහාය. මේ අනුව සේවාලාභී පරිගණක (Workstation Computers) වලට සේවාදායක පරිගණක (Server Computers) සමඟ දත්ත හුවමාරුව සඳහා අදාල ස්ථානීය ජාලයෙන් පිටත ඇති ජාල මධ්‍යය හරහා සේවාදායක පරිගණක සමූහන ජාලය (Server Farm Network) සම්බන්ධ වීමට සිදු වේ. මේ නිසා 80% කටත් වඩා වැඩි ප්‍රමාණයක දත්ත හුවමාරු වීම් ප්‍රතිශතයක් අදාල ස්ථානීය ජාලයෙන් පිටතට යැවෙන අයුරින් “මධ්‍යගතව ජාල නිර්මාණය කිරීමේ නව සම්මතයක් නිර්මාණය කරගෙන තිබේ.

අද වන විට 80-20 විමධ්‍යගත ජාලකරණ ප්‍රවාදය බටහිර ජාල නිර්මාණකරුවන්ගේ නිර්දේශයක් (Best Practice) නොවන අතර, එය ඔවුන්ට අනුව යල් පැන ගිය ක්‍රමයකි. අද බටහිර ජාල නිර්මාණකරුවන් අතර භාවිතයේ ඇත්තේ දෙවනුව ඉදිරිපත්කල 20-80 මධ්‍යගත ජාල සැලසුම පදනම් වූ ප්‍රවාදයන්ය. මේ අනුව මීට දශකයකට පමණ පෙර අදට සාපේක්ෂව ළදරු අවස්ථාවේ පැවති පරිගණක ජාලකරණය අද වන විට බටහිර නූතනත්වය තුල අනෙකුත් විෂයය ක්ෂේත්‍ර වලටද පොදු ලක්ෂණයක් වූ අයුරින්ම මධ්‍යගත සැලසුම් කරා ගමන් කොට ඇත.

උදාහරණ 2:-
මේ වන විට ස්ථානීය ක්ෂේත්‍ර ජාලයන්හි(Local Area Networks) බහුලවම භාවිතවන අභ්‍යන්තර මාර්ග සම්බන්ධක නීති-ගොනුවක් (Interior Gateway Protocol – IGP)) ලෙස ඕ.එස්.පී.එෆ්. (Open Shortest Path Forwarding – OSPF) නීති-ගොනුව(Protocol) ප්‍රචලිත වී ඇත. ඕ.එස්.පී.ෆ්. (OSPF) අභ්‍යන්තර මාර්ග සම්බන්ධක නීති-ගොනුව නිපදවා ඇත්තේ මධ්‍යගතව ක්‍රියාත්මක වන අයුරින් වන අතර පැහැදිලි කිරීමේ පහසුව සඳහා මා මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කරන්නේ බහු-ක්ෂේත්‍ර(Multiple Area)  ඕ.එස්.පී.ෆ්. (OSPF) ජාලයන් පිළිබඳවයි.

බහු-ක්ෂේත්‍ර  ඕ.එස්.පී.ෆ්. (OSPF) නීති පද්ධතිය භාවිත කරන ජාලයන්හි ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර අංක –  0(Area – 0) ලෙස හැඳින්වෙන ජාල-මධ්‍යයක් ඇත. සෙසු ක්ෂේත්‍රයන්,  ක්ෂේත්‍ර අංක -1 (Area – 1), ක්ෂේත්‍ර අංක –2 (Area – 2), ක්ෂේත්‍ර අංක –3 (Area – 3)…ආදි වශයෙන් නම් කල හැක.  මෙම ක්ෂේත්‍ර අංක –0 යනු බහු-ක්ෂේත්‍ර  ඕ.එස්.පී.ෆ්. (OSPF) ජාලයේ මැද (මධ්‍යය) වන අතර සෙසු ක්ෂේත්‍රයන් මධ්‍යය සමඟ සම්බන්ධ වී පවතී. සෙසු ක්ෂේත්‍රයන් අතර දත්ත හුවමාරුව සිදුවන්නේ ක්ෂේත්‍ර අංක –0 නමින් හැඳින්වෙන මධ්‍යය හරහා සම්බන්ධ වීමෙනි. එනම් ක්ෂේත්‍ර අංක –1 සිට ක්ෂේත්‍ර අංක –2 ට කෙලින්ම දත්ත සම්ප්‍රේෂණය කල නොහැකි වන අතර එම දත්ත අනිවාර්යයෙන්ම ක්ෂේත්‍ර අංක –0 හරහා ගමන්කල යුතු වේ. මේ අනුව ඕ.එස්.පී.ෆ්. (OSPF) යනු පැහැදිලිවම ක්ෂේත්‍ර අංක –0 මධ්‍යයක් ලෙස භාවිත කරමින් මධ්‍යගතව ක්‍රියාකරන ජාලකරණ නීති-ගොනුවකි.  තවද මෙම ක්ෂේත්‍ර අංක –0 නම් වූ ජාල මධ්‍යය සම්පූර්ණයෙන් බිඳ වැටුනහොත් සෙසු ක්ෂේත්‍ර අතර කිසිදු අයුරකින් දත්ත හුවමාරු වීමක් සිදු නොවේ. මෙමඟින් සම්ප්‍රයුක්ත ජාලයේම අන්තර්-ක්ෂේත්‍ර (Inter-Area) දත්ත හුවමාරුව බිඳවැටේ. මෙය පැහැදිලිවම මධ්‍යගත ජාල නිර්මාණයන්ගේ දක්නට ලැබෙන පොදු දුර්වලතාවයකි.

මේ අයුරින් තවත් බොහෝ උදාහරණ ගෙනහැරපාමින් බටහිර නිපදවෙන ජාලකරණ ප්‍රවාදවල  සාමාන්‍යය මධ්‍යගත වන අයුරු පෙන්වා දිය හැක. ඇතැම් අවස්ථාවල විශේෂ වූ අපගමනයන් දක්නට ඇතත් සමස්තයක් වශයෙන් ගතහොත් බටහිර ජාලකරණ ප්‍රවාද වල පදනම මධ්‍යගත වේ. බටහිර ජාල නිර්මාණකරුවන්ගේ ආගමික හා සංස්කෘතික පසුබිම අනුව ඔවුනට උරුමව ඇති මධ්‍යගත ලක්ෂණ සහිත වූ චින්තනය ඔවුන්ගේ ජාලකරණ ප්‍රවාදවලටද ඇතුලත් වී තිබේ. බටහිර ජාල නිර්මාණකරුවන්ට මෙම මධ්‍යගත ප්‍රවාද වලින් මිදීමට නම් ඔවුන්ගේ සමස්ත චින්තනයම වෙනස් කල යුතුය. නමුත් එවැන්නක් සිදුවේ යැයි බලාපොරොත්තු විය නොහැක්කේ ඔවුන්ගේ චින්තනය වෙනස් වුවහොත් ඔවුන් තව දුරටත් බටහිරයන් නොවන බැවිනි. මේ අනුව බටහිර ජාල නිර්මාණශිල්පීන්ගෙන් විමධ්‍යගත ජාල ක්ෂේත්‍රයේ දියුණුවක් බලාපොරොත්තු විය නොහැකි බව අපගේ අදහසයි.

තවද,කිවයුතු වැදගත් කරුණක් වන්නේ මධ්‍යගත ජාලයන්හි ඇති ජාල මධ්‍යය හෙවත් මධ්‍යම ජාලයේ ධාරිතාව මත සමස්ත ජාලයේම ව්‍යාප්තවීමේ (Expansion)හැකියාව  රඳාපවතින බවයි. මේ අනුව ගම්‍යවන කරුණ නම් ජාල මධ්‍යයක් පැවතීම මගින් සම්ප්‍රයුක්ත ජාලයේම ව්‍යාප්තිය සීමා කෙරෙන බවයි. නමුත් විමධ්‍යගත ජාලයක තනි මධ්‍යයක් නොමැති බැවින් එහි ව්‍යාප්තියට මධ්‍යගත ක්‍රමයේදී පැනනඟින ආකාරයේ සීමාවන් නොමැත. එම නිසා ව්‍යාප්තිය අනුව විශාල ජාල තැනීමේදී විමධ්‍යගත ජාල ක්‍රමය වඩාත්ම සුදුසු බව අපගේ පිලිගැනීමයි. අප මුල් ලිපියේ පෙන්වා දුන් පරිදි මෙරට වැසියන්ගේ චින්තනය විමධ්‍යගත වන අතර එය අපට විමධ්‍යගත ජාලකරණ ක්ෂේත්‍රයේදී විශේෂ කුසලතාවයන් දැක්වීමට උපකාර වන බව මේ අනුව පැහැදිලි කාරණයකි.

තවද, මා මෙම අදහස් දක්වන්නේ ජාල ඉංජිනේරු ක්ෂේත්‍රයේ වසර 13කට වැඩි ක්ෂේත්‍ර අත්දැකීම්ද සහිතව බටහිර ජාලකරණය පිළිබඳ විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රචලිතව ඇති සහතික පත් විස්සකට අධික සංඛ්‍යාවක් ලැබූ පරිගණක ජාල නිර්මාණ ශිල්පියෙක් වශයෙනි. අප විසින් බටහිර ජාලකරණය පිළිබඳ ලැබා ඇති දැනුම සහ පලපුරුද්ද උපයෝගීකොට ගෙන එම මධ්‍යගත ක්‍රමයේ නිස්සාරත්වය දැක විමධ්‍යගත ක්‍රමයක් පදනම් කරගෙන අපේම වූ ජාලකරණ ප්‍රවාද නිර්මාණය කිරීමක් ගැන මෙවැනි තාක්ෂණික ලිපි පෙලක් ලංකාසීනිව්ස් පාඨකයන්ට ලබා දීමට හැකි වීමම සතුටට කරුණකි.

Advertisements
 
Leave a comment

Posted by on 06/09/2011 in --Google News--

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

 
%d bloggers like this: